ශ‍්‍රී ලංකාවේ අහිගුණ්ඨිකයෝ
ශ‍්‍රී ලංකාව පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රටකි. එහි අභිමානය රැඳී පවතිනුයේ රටෙහි වෙසෙන්නා වූ විවිධ ජන සමූහයන් නිසාවෙනි. ජාතියක් වශයෙන් ගත් කළ ‘සිංහල’ යන්නට විවිධ උප සංස්කෘතීන් තුළ වෙසෙන ප‍්‍රජාවන් එක් වේ. අහිගුණ්ඨික ජනතාව ඉන් එක් සංස්කෘතියකි. ලංකාවේ ආදිවාසීන් අතරට ද අහිගුණ්ඨික ජනතාව ඇතුළත් කළ හැක. ඔවුන්ගේ මූලාරම්භය පිළිබඳ සලකා බැලීමේ දී එය බුදු සමය දක්වා දිව යන බව ‘භූරිදත්ත ජාතකයෙන් ’ අවධාරණය කළ හැක. කෝසිය නම් තවුසාගෙන් ආලම්බායන නම් මන්ත‍්‍රය ඉගෙන ගන්නා ආලම්බායන අහිගුණ්ඨිකයා මන්ත‍්‍ර බලයෙන් නාගයා ඇල්ලීමට දරන ප‍්‍රයත්නය මෙහිදී විස්තර වේ. ලංකා ඉතිහාසයට අනුව සාලිය කුමරු අශෝකමාලාව සමඟ විවාහ වීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනාගේ ඇවෑමෙන් බිහි වූ පරම්පරාව අහිගුණ්ඨීක ජනතාව වූ බවට මත පළ කෙරේ. කෙසේ වුවද ගෝත‍්‍රික ලක්‍ෂණ ගෙන බලන කළ ලංකාවේ අහිගුණ්ඨික ජනතාව දකුණු ඉන්දීයාවේ මදුරා, පාණ්ඪ්‍ය ආදී ප‍්‍රදේශවල වෙසෙන කෝර්වර්, කුර්වර් හා කෝරව යන සංචාරක ගෝත‍්‍රවලට සමාන බව හඳුනාගෙන ඇත.

අහිගුණ්ඨීක, අහිගුණ්ඩික, ආහිතුණ්ඩික හා කුණ්ඩික යන විවිධ නාම භාවිතයෙන් මොවුන් හඳුනා ගත හැක. උගුල් ඇටවීම, වෙලීම, ගී කීම, ගීයෙන් වශී කිරීම, නාග පෙනය සමඟ සෙල්ලම් කිරීම ආදී අරුත් දෙමින් විිවිධ නාම ව්‍යවහාරයට පැමිණ ඇත. මොවුන්ගේ ව්‍යවහාර නාමයන් ඔවුන්ගේ ජීවනෝ්පාය සමඟ නිතැතින් බැඳී පවතී. ඔවුන්ගේ ජීවනෝපාය ලෙස ප‍්‍රධාන වශයෙන් හඳුනා ගත හැක්කේ නයි නැටවීම ය. ඊට අමතරව පච්ච කෙටීම ද ඔවුන්ගේ වෘත්තියකි. කාන්තාවෝ තම දරුවා ද කිහිලි ගන්වාගෙන සාස්තර කියමින් තැන තැන ඇවිදින් ආදායම් ලබති. සාස්තර කීමට පෙර ගාස්තු අයකර ගැනීම මොවුන්ගේ ක‍්‍රමය වේ. උතුරු මැද පළාතේ වසන අහිගුණ්ඨිකයන් ජීවනෝපාය ගෙන යනුයේ එළුවන්, කුකුළන් ආදී සතුන් මස් පිණිස ඇති කොට විකිණීමෙනි. ධනය රැුස්කර නොගන්නා මොවුන් සතු සම්පත් වන්නේ බල්ලන්, බූරුවන්, කුකුළන්, රිදී පිත්තල ආදිය ය.

ජංගමශීලී ජීවිතයකට හුරු වූ අහිගුණ්ඨිකයෝ ආරක්‍ෂාව පිණිස තල් අතු එකට බැඳීමෙන් තාවකාලික නිවාස තනාගනිති. නාගයාගේ නිවස යන අරුත දෙන ‘නාඉල්ල හෙවත් ඉල්ලම’ අඩි නවයක් පමණ දිග වන අතර උසින් අඩි පහක් පමණ වේ. මෙවැනි නාඉල්ල අටත් පහළවත් අතර ගණනක් එක් වීමෙන් පසුව ‘වාඩිය හෙවත් කුප්පායම’ යන අරුත ගෙන දෙයි. අහිගුණ්ඨික ජනතාවගේ සෑම පවුලක් ම ආර්ථික වශයෙන් ස්වාධීන වේ. සෑමදෙනා ම උපයන මුදල පවුලේ පොදු ආදායම ලෙස ගැනේ. දඩයමෙහිදී පවුල් කිහිපයක් එක්ව දඩයම් කර පසුව බෙදාගනී.
ලංකාවේ සෑම පළාතක ම සාමාන්‍ය ලෙස ද, උතුරු මැද, සපරගමුව යන පළාත්වල ද නිරන්තරව දක්නට ලැබෙන අහිගුණ්ඨික ජනතාවගේ ප‍්‍රධාන ගෝත‍්‍ර මූලස්ථානය වන්නේ කැකිරාව අසළ පිහිටි කච්චිදූව නම් ස්ථානය ය. මොවුන් වසරක් පාසා දීපවාලි සමයේදී මෙම ස්ථානයට එක් රැස් වී පවත්වන සම්මේලනයේ දී පොදු ප‍්‍රශ්න නිරාකරණය කරගනු ලැබේ. මේ කාලය තුළ විවාහ ගිවිස ගැනීම්, මිල මුදල් හා වෙනත් ගනුදෙනු තීරණය කිරීම, ඉදිරි වර්ෂය තුළ කුප්පායමේ ගමන් මාර්ග ආදිය තීරණය කිරීම සිදු කරනු ලැබේ. ආගමික වශයෙන් වැදගත් වන මෙම සමයෙහිදී දෙවියන්ට පිං දීම, ඉකුත් වසරෙහි වූ බාරහාර ඔප්පු කිරීම ආදිය සිදු කරනු ලැබේ.
ශ‍්‍රී ලංකාවේ අහිගුණ්ඨික ජනතාවට වර්තමානයේ තම ජීවනෝපාය කරගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වී ඇත. මෙයට හේතුව වී ඇත්තේ විශාල ඉඩම් වෙන්දේසි කිරීම, ජනගහන වර්ධනය සීඝ‍්‍ර වීම, නාගරීකරණය, කාර්මීකරණය, ගෝලීයකරණය වැනි සංකල්ප බිහි වීමය. මේ නිසා ම සාස්තර කියන අතර තම අගහිඟකම් පවසමින් හිඟමන් යැදීමට පවා අහිගුණ්ඨික ජනතාව පෙළඹී ඇත. එසේම ඔවුන් සොරකම් කිරීමට පවා පෙළඹෙන්නේ මේ නිසාවෙනි. සමාජය මගින් ඔවුන්ගේ සැහැල්ලු දිවිපෙවෙතට එල්ල වූ බාධාවන් නිසා ලංකාවේ අහිගුණ්ඨික ජනතාව සමාජ විරෝධී පිරිසක් වී ඇති බව කණගාටුවෙන් වුවද පැවසිය යුතුය.

අහිගුණ්ඨීක ජනතාවගේ ගැටළු සඳහා පිළියමක් ලෙස 1980 මුල් භාගයේ දී මහවැලි ‘එච්’ කලාපයට අයත් තඹුත්තේගම අසළ පිහිටි කුඩාගම නම් ගොවි ජනපදයෙහි අහිගුණ්ඨික පවුල් 200 ක් පමණ පදිංචි කරවීම සිදු විය. ස්ථාවරයට පත් ඔවුන් බල්ලන්, ඌරන්, කුකුළන්, රිළවුන්, එළුවන් වැනි සතුන් ඇති කිරීමට පෙළඹුණි. ජීවනෝපාය වශයෙන් වී, බඩ ඉරිඟු, එළවළු වැවීම, ගොවිතැන් කිරීම ඇරඹිණි. ඔවුන් ස්ථාවර ජීවිතයකට හැඩගැස්වීම මත එම ජීවිතවල බොහෝ වෙනස්කම් සිදු විය. එහි ප‍්‍රථිඵලයක් ලෙස අධ්‍යාපනය කෙරෙහි නැඹුරු නොවූ ඔවුහු වර්තමානයේ ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙහෙසෙති. විවාහය සංස්කෘතික අංගයක් ලෙස පමණක් දුටු ඔවුහු විවාහ ලියාපදිංචිකිරීම මගින් සංස්කෘතියෙහි විශාල පෙරළියක් සිදු කළහ. ස්ථිර වාසස්ථාන නොමැතිව සංචාරක දිවියක් ගත කළ, සංස්කෘතියේ අග‍්‍ර ඵලයක් වූ ඔවුන්ට නොබෝ දිනකින් ඡන්ද බලය හිමිවනු ඇත. උපසංස්කෘතියක් ලෙස ඇගයීමට ලක්වන අහිගුණ්ඨීක ජනතාව අයත් ගෝත‍්‍රය සමාජයෙන් තුරන් වීයාද? යන්න පැනයකි.